කිතුල් මල් හදන විදිහ

adsense 336x280
කිතුල් මල් හදන විදිහ, රා හෝ තෙලිජ්ජ ගන්න ආකාරය හා ඒවායින් පැණි, හකුරු හදන හැටි ඔබට අද මේ ලිපියෙන් දැනගන්න පුලුවන්. රා කියන්නෙ මධ්යසාරයක්.. දේශීය බඩු, ගහේ බඩු, අපේ බඩු කිය කියා ඔබ එය පානය කරනවා නම් එය ඔබ අදහන ආගම දර්ශනයට අනුව වැරදි ක්රියාවක්. බුදුදහම අනුව නම් පස්වැනි සිල් පදය අමු අමුවෙම බිඳ දැමීමක්.
මෙම ලිපියේ ප්රධානම අරමුණ වන්නේ අපේ අභාවයට යන දේශීය පැණි, හකුරු කර්මාන්තය නඟා සිටුවීම හා එම කර්මාන්තයට සමාජයේ යම් වටිනා තැනක් හිමිකරදීම යි. ඔන්න දැන් අපි පාඩම පටන් ගනිමු.
සාමාන්යයෙන් දෙවර්ගයකට අයිති කිතුල් ගස් තියෙනවා. එක වර්ගයක් සිහින්ව උසට වැඩෙන අතර අනෙක් වර්ගය වඩා උස නොයන කඳ මහත වර්ගයක්. මේ උස නොයන වර්ගයට නම් කියන්නේ රෑන කිතුල් කියලා. අනෙක් වර්ගයේ නම නම් මට මතකෙට එන්නේ නෑ. ඔන්න ඔහේ දන්නේ නෑ කියමුකෝ. කොහොම උනත් මේ කොට ගස්වල මල් හදන්න ගම්මු හරි කැමතියි ඒකට හේතු වශයෙන් පහසුවෙන් හැර ගැහීමට හැකිවීම හා වැඩි තෙලිජ්ජ ප්රමාණයක් ලබා ගැනීමට ඇති හැකියාව දක්වන්න පුළුවන්. එතකොට මොකක්ද මේ හැරගහනවා කියන්නේ, කොහොමද ඒක කරන්නේ...? මේ සඳහා යොදා ගන්නේ හීනි දිග රිටි හා බට පතුරු. මොර, දවට, කෙනෙහියා, වන ඉදල වගේ ලී වර්ග තමයි වැඩි වශයෙන් භාවිතයට ගන්නේ. හොදින් වැඩුන කිතුල් මලක් තියන ගහකට මේ රිටි තියලා බට පතුරු වලින් අඩි දෙකෙන් දෙකට වගේ පරතරයකට බඳිනවා ඉනිමගක ආකාරයට. රිට ගහට හේත්තුම වෙලා තිබුනොත් අල්ලන්න අපහසු නිසා රිටත් ගහත් අතරට කුඩා ලී කැබලි (කොට්ට) තියලා තමයි මේ විදිහට වරපට (බැම්ම) තද කරන්නේ.
🔴 ඔන්න ඔහොමයි කිතුලකට නගින්නේ....
මෙහෙම හැර ගහලා ගහට නැග්ගට පස්සේ තමයි බලන්න ඕන කිතුල් මල තලන්න (කැපීමට සුදුසු පරිදි සකස් කිරීමට) සුදුසු ප්රමාණයට වැඩිලද කියලා. කිතුල් මල ඝනකම් හනසු කීපයකින් ආවරණය වෙලා තිබුනට අග කොටස තරමක් මෘදුයි. ඒ හරිය තදින් මිරිකනකොට එබෙන්නේ නැතිනම් ඒකට අපි කියනවා අග පිරිලා කියලා. එහෙම නම් ඒ මල කපන්න සුදුසු තත්වෙට වැඩිලා.
🔴 කිතුල් මල කපන හැටි හා ඒ සඳහා භාවිතා කරන ක්රම ශිල්ප...
ඊ ලඟට අපි බලමු කොහොමද මල කපන්න ඕන, මොනවද එකට භවිතා කරන ක්රම කියලා. මලක් කපන්න කලින් ඒක කපන්න සුදුසු ආකාරට හදා ගන්න එපායෑ. ඒ වැඩේට ක්රම කීපයක් තියනවා මේං ඒ ක්රම:
උන හැලීම, පිච්චීම, බේත් තැබීම හා තැලීම. හොඳයි අපි මුලින්ම බලමුකෝ කොහොමද උණ හලන්නේ කියලා. මොකද මම කිතුල් මල් හදන්න පහසුම ක්රමය විදිහට දකින්නේ මේ ක්රමය. මුලින්ම අපි කෙනෙහියා ලීයක් අරගෙන ඔලොම්බුවක් හදා ගන්නවා. එහෙම කිවුවට ඔය ගොල්ලෝ දන්න්වයෑ ඔලොම්බු ගැන නේද? මෙන්න ක්රමේ. අඩි පහක හයක විතර අමුලීයක් අරගෙන ඕක මැදින් දෙකට පලනවා. කරුවක් වගේ හිටින්න. අඩි එකහමාරක් විතර යටින් වැල් පොටකින් ගැටගහනවා දිගටම පැලෙන එක නතර වෙන්න.දෙපැත්තට ටිකක් ඇද්දම Yඅකුරේ හැඩේට තියනවා. ඕකට නෙව ඔය ඔලොම්බුව කියන්නේ. ඕක මලේ මැද හරියට තියලා අනෙක් පැත්ත ගහට තියලා මල හෙලවෙන්නේ පහතට නැමෙන්නේ නැති ආකාරයට තද කරගන්නවා. ඉන් අනතුරුව පිහියක ආධාරයෙන් අර හනසු එකින් එක ඉවත් කරලා මල නිරාවරණය කර ගන්නවා. ඊලඟට තිත්ත වැල් හෝ වල්ලපට්ට යොදාගෙන ඉති ගැටේ ලඟ ඉදන් පහලට මල හොඳින් වෙලා ගන්නවා මලේ මැදක් විතර වෙනකම්. ඔය කිවුවට අපි ඉතිගැටේ දන්නෙත් නෑනේ නේද. අවුලක් නෑ මම කියලා දෙන්නම්. ඔයාලා ගොඩක් අය කිතුල් මල් දැකලා ඇතිනේ නේද.
ඔය පින්තූරෙ තියෙන්නේ නොදැකපු අයට බලා ගන්න කිතුල් මලක්. හැබැයි කිව්වට අමනාප වෙන්න කාරි නෑ ආයුබොවන් මේක නම් මහ කනාටු කිතුලක්. මෙහෙම ඒවයේ මල් හදන්ට බෑ.ඔය රෑන් පටන් අරන් තියෙන තැනට නෙව ඉතිගැටේ කියන්නේ. හොඳයි අපි බලමු ඊලඟ පියවර.දැන් ඔය අපි වෙලා ගත්තේ රෑන් තියෙන කොටසනේ. මලේ කඳේ තියනවා සුඹුලු සහිත ආවරණයක් මේක සූරලා අයින් කරන්න පුළුවන්.හැබැයි ඉතින් මේක බොහොම සීරුවට කරන්න ඕන වැඩක්. මොකද මේවා හරියට කහනවා ඇඟේ ගෑවුනොත් ඉවරයි. හරි ඉතින් කොහොම හරි ඔය සුඹුලුත් අයින් කරලා මල් කඳ පිරිසිදු කරගෙන අපි ඊලගට කොල්ලන් කොලයි හුණුයි අතුල්ලනවා හොඳට මල් කඳ පුරාම. ඒක හොඳින් කහට පාට වැටෙනකන්ම. ඊට පස්සේ කොල්ලන් කෝටු කෑලි තුනක් අරගෙන ඒක මැදට හුනු පුරෝලා ගහනවා ඉතිහැටේ මුලට තුන් පැත්තකින්. ඊටත් පස්සේ ඕක අව්වේ දානවා තුන් වරුවක් විතර. විශේෂම කරුන තමයි මෙහෙම පදම් කරපු මලක් වැස්සට තෙමෙන්න දෙන්න හොඳ නෑ. වැරදිලාවත් තෙමුනොත් මල අල වෙනවා. ඒකියන්නේ ඒකෙන් ප්රයෝජනයක් ගන්න බැරි වෙනවා.
තුන් වරුව අව්වේ දැම්මට පස්සේ අපි අර තිත්ත වැල්වලින් වෙලාගෙන ගිහින් නවත්වපු තැනින් පහලට තියෙන කොටස කපලා අහකට දානවා. ඕකට කියන්නේ අග කපනවා කියලා නොවැ. ඊට පස්සේ උදේට,දවල්ට හවසට අවිත් කපන්න ඕන හැමදාම. මල කපනවා කිව්වට අපි ඕක පිහියෙන් කොටලා කපන්නේ නෑ. බොහොම සියුම් ආකාරයට මල නොහෙල්ලෙන විදිහට මලෙන් තුනී කොටසක් විතරයි කපලා අහක් කරන්නේ. තුන් වරුව කපන කොට අපට මල් මූනතට කඳුල පුරනවා .ඒ තමයි තෙලිජ්ජ. ඉතින් දවස් දෙක තුනක් ගතවෙන කොට අපි ඕකට මුට්ටියක් එල්ලනවා. උදේ එල්ලුවානම් දවල් යනකොට ඕකට තෙලිජ්ජ එකතුවෙලා තියනවා. ක්රමයෙන් කඳුල වැඩි වෙන බවක් පෙනෙන්න තියනවා නම් අදාල මුට්ටියේ ප්රමාණය වෙනස් කරන්නයි තියෙන්නේ. මොකද සමහර ගස්වල බෝතල් 25-30 තියෙන ඒවත් තියනවා, ඊට අඩු වැඩි වෙන වෙලාවලුත් නැතිවම නෙමේ. ඕක අපි පැණි හෝ හකුරු හදන්න ගන්නවා නම් එහෙමම ගෙනිහින් උනු කරන්නයි තියෙන්නේ. හැබැයි රා හදනකොට දවසක් දෙකක් ගහේම තියෙන්න අරිනවා. එතකොට භාජනේ අඩියේ මන්ඩි වගේ හැදෙනවා සුදු පාටට. එතකොට අපි කරන්නේ උඩ තියන තෙලිජ්ජ ටික අහකට හලනවා අර මන්ඩි ගතියට තියෙන ටික ඉතිරි වෙන්න. ඊට පස්සේ ඒ මුට්ටියම ආයේ ගහට එල්ලනවා. ඔන්න ඉතින් හවසට හරි ඊලඟ දවසට හරි යනකොට සුදට සුඉදේ පෙන දාන රාමුට්ටියක් තියෙනවා.
අපි බලමු දෙවෙනි ක්රමය නැත්නම් මල පුච්චන ආකාරය. මෙතනදිත් පලමුව කරන්නේ ඔලොම්බුවක් හදලා මල ස්ථාවරව තියාගන්න එක තමයි. හැබැයි කලින් වතාවේ වගේ හනසු ටික ගලවලා අයින් කරන්නේ නෑ. ඒවෙනුවට හොඳ ගිනිහුලක් අරන් මලේ මුල කොටස හොදින් පුච්චනවා. පුච්චන්නේ යටි පැත්තෙන්. ටිකක් නෙමේ මල ඇතුලෙනුත් භාගයක් විතර පිච්චෙනකන්ම අපි වැඩේ නවත්තන්නේ නෑ. නියම ප්රමාණයට පිච්චුනහම ප්රවේසමෙන් කොපු එහෙම නැත්නම් හනසු ටික ගලවලා අයින් කරනවා. පස්සේ කලින් විදිහටම මල වෙලලා සුඹුලු අහක් කරලා හුනු ටිකකුත් ගානවා. මලේ තෙත ගතියක් එහෙම තියේ නම් විතරක් ටිකක් අව්වටත් නිරාවරණය කරනවා.ඒත් ඒක අවශ්යම නෑ. මේ කොයි ආකාරයෙන් හැදුවත් මල තෙමන්න නම් හොඳ නෑ.
බේත් තියනවා කියන්නෙත් උන හලන ආකාරයටම මල සුද්ද කරලා, අර මම කලින් කිව්වා වගේ ඉති ගැටේ ලඟ සිදුරු තුනක් හදලා අපි කලින් සකස් කරගත්ත මිශ්රණයක් මේ සිදුරු තුලට ඇතුලු කරන එකට. ඒ සමඟම මල් කඳෙත් මේ මිශ්රණය ගානවා. මොනවද මේ මිශ්රණය සකස් කරන්න අපි යොදා ගන්නේ එතකොට. වල්ල දළු, හෝ කොල්ලන් කොල, හුනු, වියල් දුඹුලු, සහිඳ ලුණු ආදිය ගෙන දෙහි ඇඹුලෙන් අඹරලා තමයි මේ මිශ්රණය සදා ගන්නේ. අන්තිම ක්රමය තමයි මේ තලනවා කියන්නේ. තලලා කිතුල් මල් හදන අවස්ථා අඩුයි. එච්චරම සාර්ථක ක්රමයක් විදිහට හඳුන්වන්න නම් පුළුවන් කමක් නෑ. කරන්නේ නම් මෙහෙමයි. මේකෙදි හරක් ඇටයක් (හරෙකුගේ අස්ථියක්) අරගෙන කිතුල් මලේ මුලට තදින් පහර දෙනවා. මල ඇතුලතත් තැලෙන ආකාරයට. මේකත් තුන් වරුවක් විතර කරන්න ඕන. ඊට පස්සේ මල පිරිසිදු කරලා වෙලලා කලින් සඳහන් කරපු විදිහටම කපනවා. උණ හැලීමෙන්, පිච්චීමෙන්, බේත් තැබීමෙන් ඔය සේරගෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ මල වැඩීම නතර කරන එක. නැත්නම් බාගෙට මරණ එක එහෙම නොවුනොත් මල කපන්න බැරි වෙනවනේ දිගටම. නිසි ප්රතිකාර කරලා මලක් හැදුවොත් තුන් හාර මාසයක් කපන්න පුලුවන්. සමහර ඊටත් වඩා කල් තියෙන මලුත් තියනවා.
🔴 පැණි හා හකුරු සාදන විදිහ
පැණි හෝ හකුරු සාදන විට අපි වැඩි වෙලා එකතුවෙන තෙලිජ්ජ ගහේ තියෙන්න අරින්නේ නෑ. ඒවගේම නිතර නිතර ගහට එල්ලන මුට්ටිත් මාරු කරනවා. එහෙම කරන්නේ තෙලිජ්ජ පැහෙන එක නතර කරන්න. යන්තම් හෝ ඇඹුල් උනොත් ඒ වැඩේ කරන්න බැරි වෙනවා. ගේන තෙලිජ්ජ ගෙනා ගමන්ම පෙරලා උණු කරනවා. මේ පැණි, හකුරු හදන ගෙවල් වල එලියේ මඩුවක හෝ කොහේ හරි නිතරම දැල්වෙන ලිපක ලොකු තාච්චියක් (ඩොංගා තාච්චි) තියලා තියෙනවා. ගේන ගේන තෙලිජ්ජ මේ තාච්චියට එකතු කර කර ගින්දර දානවා. පැය 5-6 ක් හින්දනකොට පැණි පදමට එනවා. එතකොට ලිපෙන් බාලා ගත්තොත් කිතුල් පැණි. හකුරු හදන්න ඕනි නම් තවත් හින්දනවා. ඔය අපි කැවිලි පෙවිලි හදනකොට පත්පැණි වෙනකම් උණු කරන්නේ.. අන්න ඒ ආකාරයට. කොහොමත් හැඳිගාන කොට අතට දැනෙනවා පැණි එක ඝනවීගෙන එනවා. ආන් එතකොට ලිපෙන් බාලා පොල් කටු වත්කරගන්න ඕන. විනාඩි 10න් ලස්සන හකුරු පියන් ගලවන්න පුලුවන්. ගොඩක් අය ආසයි හකුරු බෝල කන්න. ඒවා හදන්නේ හකුරු වත්කරලා ඉවර උනාට පස්සේ පැණි උණුකරපු තාච්චිය හූරලා.
මෙම පැණි, හකුරු, රා කර්මාන්තයේ යෙදෙන පිරිසෙහි ජීවන තත්වය, එහි දුක් ගැහැට කියාපාන ලස්සන ගීතයක් තියෙනවා සුනිල් එදිරිසිංහ මහත්මයගේ මම ඒ ගීතයෙන් මේ ලිපිය අවසන් කරනවා. බලන්න කවියාගේ ඒ භාව ප්රකාශනය ඔබට එලෙසින්ම දැනෙනවද කියලා.
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ
අපි මලින් මලේ පැණි පෙරුවට වන බඹරුන් නොවේ
හිතේ ගින්න අවුලාගෙන හුරතල් පොඩි එවුන්නේ
කුසේ ගින්න නසන්නයි අතුරේ පිය නගින්නේ
මලට කලින් අපි තැලිලයි පූදින මල් තලන්නේ
අපේ දුකට හඬන මලේ කඳුලයි පැණි කෙරෙන්නේ
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//
අහසින් වඩින පින ලැබිලයි උඩ සක්මන් කරන්නේ..
පෙළහර පාන්නයි තිස් පැය ගුවනේ සැරිසරන්නේ
නැති බැරි කමයි උඩු හුළඟේ ළණු දෙපොටින් වැනෙන්නේ
සවුදිය පුරන මහ පොළොවට අපි දහඩිය වඩන්නේ
මලින් මලට ඉගිලුනාට සමනලයින් නොවේ...//
adsense 336x280